Total Pageviews

Friday, January 3, 2020

ශ්‍රී ලංකාවත් - මාලදිවයිනත් අතර සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙළක්

සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව හා මාල දිවයින අතර ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපති ඕමර් අබ්දුල් රසාක් මහතා සහ කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර පැවති සාකච්ඡාවකදී එකඟතාව පළ වී ඇත.

ශ්‍රී ලංකාවට විදේශ සංචාරකයින් ගෙන්වා ගැනීමටත්, ලංකාවේ සංචාරය කිරීමෙන් පසු ඔවුන් මාලදිවයින වෙත යොමු කර විවේකීව එහි කාලය ගතකිරීමට අවස්ථාව ලබා දීමටත්  හැකියාව ඇති බව මාලදිවයින තානාපතිවරයා රණතුංග මහතාට පවසා ඇත.
 
මාලදිවයින සංචාරකයින්ට නැරඹීමට ස්ථාන අඩු බවත් එරටට පැමිණෙන සංචාරකයින් පැමිණෙන්නේ නිදහසේ විවේකීව සිටීමට බවත් කියන මාලදිවයින් තානාපතිවරයා ලංකාවේ දී සංචාරකයන්ට නැරඹීමේ ස්ථාන රැසක් ඇති බවද සඳහන් කර තිබේ.
 
සංචාරක අංශයේ ප්‍රධානීන් සමග ද සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ වැඩ පිළිවෙළක්  සකස් කළ හැකි බව  ඇමතිවරයා මෙහිදී තානාපතිවරයාට පෙන්වා දුන්නේය.
 
මාලදිවයිනේ විදේශ කටයුතු ඇමතිවරයා ජනවාරි 28 සිට තෙදින සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන බැවින් එහිදි මේ සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡා පැවැත්වීමට එකඟතාවය පළ කර ඇත.
 
සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ලේකම් මරීනා මොහොමඩ්, කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශ ලේකම් මාපා පතිරණ යන මහත්වරුද මෙම සාකච්ඡාවට එක්වූහ

No comments:

Post a Comment